ATD

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව නමැති උතුම් සාසන වැඩපිළිවෙලේ තවත් එක් ශ්‍රේෂ්ඨ සාසන වැඩ පිළිවෙලක් ලෙස අට්ඨකථා සහිත ථෙරවාදී ත්‍රිපිටක ධර්මය සමග විවිධ භාෂා ශාස්ත්‍රයන්ද, සුවිශේෂී ධර්ම කොට්ඨාස හා ධර්ම ග්‍රන්ථයන් ද, නූතන ලෝකයේ සාසන කටයුතු සඳහා අවැසි තාක්ෂණික දැනුමද ඉතාම පිරිසිදුව පිළිවෙලකට මෙම ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමීය ත්‍රිපිටක ධර්ම පීඨය මගින් ගිහි පැවිදි දෙපක්ෂයටම ලබාදීම සිදුකරයි.

     යුද්ධයකට සූදානම් වන සෙබළා බොහෝ කලක සිට පුහුණු වී යුධ අභ්‍යාස හා ශිල්පීය සටන් ක්‍රම මනාව දැන ඉගෙන ඊට අවශ්‍ය ආයුධ හා ආභරණ ආදියෙන් සැරසී තමන්ට සහාය වන එවැනිම පුහුණුව ලද යෝධ බට පිරිසක් සමගින් යුද්ධයට මුහුණ දෙයි. එය පිරිසක් විනාශ කොට තමන් ජය ගැනීමට කරන සටනකි. එම සටනින් මෙලොව පරලොව දෙකටම යහපතක් නම් සිදු නොවෙයි.

  අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ සිරි ජිනවංස මාහිමිපාණන් වහන්සේ ද යුද්ධයකට සූදානම් වූහ. ඊට සුදුසු යෝධ පරාක්‍රමයෙන් යුතු පිරිසක්ද ඒ සඳහා සහභාගී කර ගත්තාහ. වර්ෂ 1951  ජුනි මස 18 වන දින යුද්ධය ඇරඹීය. මෙයද කිසියම් බලයක් විනාශ කොට තම තමන් ජය ගැනීම පිණිස කරන කරන ලද යුද්ධයකි. ඒ තමන්ටවත් අනුන්ටවත් මෙලොවට පරලොවට අයහපතක් කිසි ලෙසකින්වත් සිදු නොවන ලෙස කරන කෙලෙස් යුද්ධයකි. මහා කෙලෙස් මාර බලමුළු විනාශ කොට මෙලොව ජයගෙන පරලොව ජයගෙන අමා මහ නිර්වාණ ශාන්තිය ලැබීම පිණිස අරඹන ලද යුද්ධයකි. මේ මහා යුද්ධය ආරම්භ කිරීමට පෙර තමන් වහන්සේ තිස් වසරකට වැඩි කාලයක් ඒ වෙනුවෙන් පලපුරුද්දක් ලබාගෙන සුදුස්සෙකු බවට පත්වූහ. ත්‍රිපිටක ධර්මය පෙළ, අටුවා, ටීකා සමග හදාරා ව්‍යාකරණ, ශබ්ද ශාස්ත්‍ර හා භාෂා නිපුණත්වයෙන් රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගත්තාහ. එසේම එයට සම්බන්ධ කරගත් අතිගරු පූජනීය මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ, අතිගරු පූජනීය ගැටමාන්නේ ශ්‍රී විමලවංශ මාහිමිපාණන් වහන්සේ, අතිගරු මුණගම සිරිසුමන මාහිමිපාණන් වහන්සේ, අතිගරු දේවගොඩ මංගල සිරි මාහිමිපාණන් වහන්සේලා වැනි ධර්ම විනය වචනයෙන් වචනය වුවද සිසුන්ට තේරුම් කර දීමට සමත් ප්‍රතිබල සම්පන්න සංඝ පීතෘන් වහන්සේලා වූහ.

ඒ අනුව 1951 වර්ෂයේ ජුනි මස 18 වන දින ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රථම ප්‍රව්‍රජ්‍යා සම්පත්තිය ලබා ගත් මහා පුණ්‍යවන්ත දොළොස් දෙනා වහන්සේට පෙළ-අටුවා-ටීකාවන්හිද, සංස්කෘත භාෂාආදි භාෂාවන්හිද,, ව්‍යාකරණ ශාස්ත්‍රයෙහිද, ශබ්ද ශාස්ත්‍රයෙහිද, ධර්ම විනය පිළිබඳවද හසළ දැනුමක් ඇති පැතිරී ගිය මහා බුද්ධි මහිමයක් ඇති අතිගරු පූජනීය ප්‍රධානාචාර්ය මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් මූලික අධ්‍යාපනය ලබා දෙමින් ධර්ම අධ්‍යයන වැඩපිළිවෙළ ප්‍රථමයෙන්ම ආරම්භ කළහ.

අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දූවේ සිරි ජිනවංස මාහිමිපාණන් වහන්සේ අතින් අවවාද අනුශාසනා ලබමින් සිටි යෝගාවචර පිරිසට තවදුරටත් අධ්‍යාපනය ලබා දෙනු පිණිස අම්බලන්ගොඩ විහාරගොඩ විවේක සෙනසුනේ වැඩ සිටි අතිගරු පූජනීය මුණගම සිරිසුමන ස්වාමීන් වහන්සේ වෙතද, නිමලව තපෝ භූමියෙහි වැඩ සිටි අතිගරු පූජනීය පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රී විමල වංශ මාහිමිපාණන් වහන්සේ වෙතද යොමු කළහ. 1952 වර්ෂයේ තවත් එකොළොස් නමක් ප්‍රව්‍රජ්‍යා සම්පත්තිය ලබාගත් අතර ඒ හැමදෙනා වහන්සේට ම අධ්‍යාපනය අතිගරු මාහිමිපාණන් වහන්සේලාගේ කාරුණිකත්වයෙන් ලබා දුන් සේක. මැල්ලගල යෝගාශ්‍රමයේ යෝගාවචර පිරිසට ධර්ම විනය පිළිබඳව මනා අවබෝධයක් ලබා දුන් අතිගරු පූජනීය අස්මඬලේ ශ්‍රී රතනපාල මාහිමිපාණන් වහන්සේ නිමලවට වැඩම කොට එහි සිටි සඟ පිරිසට ද ධර්ම විනය උගන්වා වදාරන්නට ඇතැයි සිතිය හැක. අතිගරු පූජනීය මුණගම සිරිසුමන හිමිපාණන් වහන්සේද නිමලව වැඩ සිටි කාලයේදී එහි සිසු පිරිසට ධර්ම විනය ඉගැන්වූහ.

මෙසේ වසරෙන් වසර පැවිදි වූ පිරිස වැඩිවීමත් සමගම ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ධර්ම විනය අධ්‍යයන කටයුතුද පුළුල් විය. ඒ අනුව අතිගරු මාහිමිපාණන් වහන්සේලා වරින් වර ඒ ඒ සෙනසුන්වලට වැඩම කොට ඒ ශිෂ්‍ය පිරිසට ධර්ම විනය උගන්වා නැණවත්, සිල්වත්, ගුණවත්, බහුසුත, සුපේශල පිරිසක් බවට පත් කිරීම සඳහා ධර්ම විනය අධ්‍යයන කටයුතුවල නිරත වූහ.

1000159948

ඒ අනුව අතිගරු ප්‍රධානාචාර්ය මාහිමිපාණන් වහන්සේ 1952 වර්ෂයේ පමණ නිමලව අරණ්‍යය සේනාසනයෙහි වැඩ සිටින කාලයේදීද, ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමයෙහි වැඩ සිටිමින්ද, 1961 සිට 1963 දක්වා පමණ වර්ෂ වලදී දනව්කන්ද සිරි මංගල යෝගාශ්‍රමයේ වැඩ සිටිමින්ද, 1963, 1964 වර්ෂ වලදී මැල්ලගල යෝගාශ්‍රමයේ වැඩ සිටිමින්ද, 1986 වර්ෂයේ සිට මීතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ සිසු පිරිසටද ධර්ම විනය මනාකොට උගන්වන ලදහ.

අතිගරු පූජනීය කඩවැද්දුවේ පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේට කෙතරම් වැඩ අධික වී තිබුණද, කෙතරම් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුවද, “දෙයක් නැහැ” යන වදනින් සියලු බාධක වලින් සිත මුදවා ගෙන තම විවේකයද සලසා ගනිමින් සිසු පිරිසටද බෙහෙවින් උපකාර වූහ. බොහෝ කලක සිට දිනපතා සවස දෙකේ සිට ප්‍රව්‍රජ්‍යාපේක්ෂක පිරිසට හා පැවිදි පිරිසට දහම් දැනුම ලබාදීමට අතිශයින් උත්සුක වූහ.

අතිගරු පූජනීය මඩවල ධම්මතිලක මාහිමිපාණන් වහන්සේ 1954 වර්ෂයේ සිට නිමලව අරණ්‍ය සේනාසනයෙහි වැඩ වසමින් එහි සිටි සිසු පිරිසට ධර්ම විනය අධ්‍යයන කටයුතුවල නිරත වූ සේක.

අතිගරු ගැටමානේ මාහිමිපාණන් වහන්සේ නිමලව සේනාසනයෙන් වැඩ 1955 වර්ෂයේ දී නාථගණයේදී ද, 1964 වර්ෂයේදී කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයේදී ද, 1967-1969 වර්ෂවලදී දළුග්ගල හා රඹුක්කන සෙනසුන්හිදී ද, තමන් වහන්සේ නේවාසිකව වැඩ සිටි සෙනසුන්හිදීද එහි සිසු පිරිසටද ධර්ම විනය පැහැදිලි කර දීමට පසුබට නොවූහ.

අතිගරු පූජනීය අලුත් නුවර සංඝානන්ද ස්වාමීන් වහන්සේ රඹුක්කන සෙනසුනකදී හා තමන් වහන්සේගේ සෙනසුනට පැමිණි සිසු පිරිසටද ත්‍රිපිටක ධර්ම ඉගැන්වීමේ කටයුතු කළහ.

අතිගරු පූජනීය බැඹියේ ශ්‍රී විමලවංස මාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේ වැඩ සිටි තැන්වල ධර්ම විනය ඉගැන්වීමේ කටයුතුවල නිරත වූ සේක.

අතිගරු පූජනීය දේවගොඩ මංගල සිරි මාහිමිපාණන් වහන්සේ 1960 වර්ෂයේ මැද භාගයේදීද, 1978 වර්ෂයේ පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ වැඩවසමින්ද, මිතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ වැඩවසමින්ද සෙසු පිරිසට විනය ගරුකව වැඩ විසීමට තමන් වහන්සේ ආදර්ශවත් වෙමින් ධර්ම විනය ඉගැන්වීමේ කටයුතුවල නිරත වූ සේක.

අතිගරු පූජනීය පාගොඩ සද්ධානන්ද මාහිමිපාණන් වහන්සේ 1969-1972 වර්ෂවලදී කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයේ ඉගැන්වීම් කටයුතු සිදු කළ සේක.

 මෙම උතුම් සංඝ පීතෘෘන් වහන්සේලා වෙතින් ත්‍රිපිටක ධර්මය උගත් සිසු පිරිස තමන් වහන්සේලා උගත් පරියාප්ති දැනුම සෙසු භික්ෂූන් වහන්සේලා වෙත ලබා දීමට කිසිසේත් පසුබට නොවූහ. ධර්ම විනය උගත් වැඩිහිටි සඟ පිරිස නවක සඟ පිරිසට ධර්ම විනය කියාදීමේ ගුරු පරපුරෙන් ආවා වූ පිළිවෙත් මඟ මෙසේ සෑම සෙනසුනකම ක්‍රියාත්මක වෙනවා දුටු සමුප්පාදක මාහිමිපාණන්  වහන්සේලා සමාහිත සිතින් සතුටු වූහ. 

අතිගරු පූජනීය ආචාර්යයන් වහන්සේලා කිහිප නමකගෙන් ආරම්භ කරන ලද ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ත්‍රිපිටක ධර්ම අධ්‍යන කටයුතු කාලයාගේ ඇවෑමෙන් ත්‍රිපිටක විශාරද උපාධි, ත්‍රිපිටකාචාර්ය උපාධි ලබාගත් බොහෝ සඟ පිරිසක් නවක සඟ පිරිසට ත්‍රිපිටක ධර්ම දැනුම ලබා දෙමින් පරියාප්ති සාසනය ආරක්ෂා කර ගත්හ. පරියාප්තියෙන් ප්‍රතිපත්තියත්, ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේධයත් පිණිස උත්සාහ වූහ.

මෙසේ මේ ගුරු පරපුරෙන් පැමිණි ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ත්‍රිපිටක ධර්ම අධ්‍යන කටයුතු තවදුරටත් නොසිදී ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙම ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමීය ත්‍රිපිටක ධර්ම පීඨය ආරම්භ කරන ලදී. අට්ඨකථා සහිත ථෙරවාදී ත්‍රිපිටක ධර්මය සමග විවිධ භාෂා ශාස්ත්‍රයන්ද, සුවිශේෂී ධර්ම කොට්ඨාස හා ධර්ම ග්‍රන්ථයන් ද, නූතන ලෝකයේ සාසන කටයුතු සඳහා අවැසි තාක්ෂණික දැනුමද ඉතාම පිරිසිදුව පිළිවෙලකට මෙම ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමීය ත්‍රිපිටක ධර්ම පීඨය මගින් ගිහි පැවිදි දෙපක්ෂයටම ලබාදීම සිදුකරයි.
tdfaculty 2

🪔 අපවත් වී වදාළ ගුරු උතුම් වහන්සේලා…

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව නැමැති මහා වෘක්ෂයෙහි මුදුන් මුල් බඳුව වැඩ සිටි මේ මහා යතිවරයාණන් වහන්සේලා පරම්පරාවෙන් පරම්පරාවට නොසිඳ පවත්වාගෙන ආ ඒ උතුම් සසුන් ගුණ මිහිර තව තවත් රසවත් කරමින් දැල්වෙන දහම් ප්‍රදීපයක් බඳු මෙම ආරාමික ත්‍රිපිටක ධර්ම පීඨය උන්වහන්සේලාට ගුරු පඬුරක් වේවා..